නගහන පාලන අදහස්‌ ප්‍රායෝගික ම ය

2009-9-2 දින විදුසර පත්‍රයේ පළ වූ, මවිසින් ලියන ලද "ශ්‍රී ලංකාවේ ජනගහන පාලනයට නව ක්‍රම අත්හදාබැලීමේ වැදගත්කම" යන ලිපියට 2009-9-23 දින රංග හෙට්‌ටිආරච්චි විසින් ලියන ලද පිළිතුරු ලිපියේ ඇතුළත් අදහස්‌ ගැන පැහැදිලි කිරීමට මෙය ලියමි. සාමාන්‍යයෙන් මා පුවත්පතකට ලිපියක්‌ ලියන්නේ විශාල විෂයයක්‌ සාරාංශගත කර ය. මන්ද පුළුල් විෂයක කරුණු පුවත්පතක පළ කිරීමට ඉඩ නැති බැවිනි.

ලොව පුරා විශ්වවිද්‍යාලවල රටක ජනගහනය ගැන ඉගැන්වෙන විවිධ විෂයයන් ඇත. ජනගහන භූගෝල විද්‍යාව එවැනි විෂයයකි. එමෙන්ම රටක ජනගහනය ගැන විවිධ මිනුම් දඬු ද ඇත. ජන විද්‍යා සංක්‍රාන්ති න්‍යාය ද එවැන්නකි. මේ විෂයයන් පිළිබඳව රංග හෙට්‌ටිආරච්චි වැනි අයට වැඩිදුර හැදෑරීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල පුස්‌තකාලයකින් හෝ වෙනත් පිළිගත් පුස්‌තකාලයකින් හෝ එයට අවශ්‍ය පොතපත ලබාගෙන සිය දැනුම වැඩිදියුණු කරගත හැකි ය. ජන විද්‍යා සංක්‍රාන්ති න්‍යායේ සිව්වැනි කොටසට ස්‌වීඩනය වැනි රටවල් ඇතුළු වී ජනගහන වර්ධනය සමතුලිත වී ඇති අතර ලංකාව සෙසු තෙවැනි ලොව රටවලට වඩා ඉදිරියට පැමිණ එහි තෙවැනි මට්‌ටමට ළඟා විය. (මෙය පුළුල් විෂයයකි. අදාළ පොතපත කියවන්න) රංග ගේ ලිපියේ දෙවැනි ඡේදයේ මා මෙහි දක්‌වා ඇත්තේ මගේ නිර්ණායක යෑයි පැවසීම මෙම විෂයය පිළිබඳ අනවබෝධයකින් ලියූවක්‌ බව පෙනේ.

මගේ ලිපියේ දෙවැනි ඡේදයේ කරුණු ගත හොත් එහි අදහස තෝරාගැනීමට රංගට භූගෝල විද්‍යාවට අමතරව සමාජ විද්‍යාව පිළිබඳව ද වන පොතපත කියවිය යුතු බව සිතේ. මා එහි දී අදහස්‌ කළේ සමාජ විද්‍යාව හදාරා ඇති කවුරුත් දන්නා දෙයක්‌ වන පහත් සමාජානුයෝජනයකින් බිහි වන ජනිතයන් මගින් පහත් ක්‍රියා එළිදැක්‌වීමේ ඉඩකඩ වැඩි බව ය. රංග අදහස්‌ කරන පරිදි දුගී පවුල්වලින් මහා ප්‍රාඥයන් බිහි වීම අප කවුරුත් දන්නා දෙයකි. එහෙත් රංග ගේ දැනුම හෝ (බුද්ධිය) වෙන දෙයක හෝ අඩු බවක්‌ නිසා මෙවැනි මත බිහි වීම විහිළුවක්‌ වන බව කියන්නේ නම් සමාජානුයෝජනය, මන්දපෝෂණය වැනි කරුණු ඇසුරෙන් පර්යේෂණ මෙහෙයවූ, විවිධ මත පළ කළ සමාජ විද්‍යාඥයන්, මනෝ විද්‍යාඥයන් සියල්ලන් ම විහිළුවක්‌ වනු ඇත. මා එහි දී අදහස්‌ කළේ දුගී පවුලකින් (විශේෂයෙන් නාගරික මුඩුක්‌කු පරිසරවල, පාතාල සාමාජිකයන් ඇසුරෙන්) බිහි වන පහත් සමාජානුයෝජනයක්‌ ඇති අයකු ගේ සමාජ මෙහෙවර බොහෝ විට සමාජයට පිළිලයක්‌ වනු ඇති බව ය. එහෙත් එහි දී දුගී පවුලක්‌ ලෙස අර්ථ දැක්‌වූයේ ග්‍රාමීය පරිසරයක ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන, පන්සිල් රකින පවුලක සාමාජිකයකු ගැන නො වේ. මෙය තේරුම් ගැනීමට රංගට අපහසු වූයේ සමාජානුයෝජනය යන වචනයේ අර්ථය රංග නො දන්නා නිසා විය හැකි බව ඒත්තු යයි.

රංග ගේ සිව්වැනි ඡෙදයේ, දෙදෙනකු ගේ ස්‌වාභාවික එකතු වීම පාලනය ගණිකා ව්‍යාපාරයට උඩගෙඩි දෙන්නක්‌ වශයෙන් දැක්‌වේ. එහෙත් මගේ පර්යේෂණවලට අනුව වත්මන් ලංකාවේ 60%කට වැඩි පිරිමි පක්‍ෂය ජීවිතයේ එක්‌ වතාවක්‌ හෝ කාන්තාවන් එක්‌ අයකුට වැඩි දෙනකු ඇසුරු කර ඇති අතර 70-80% පමණ පිරිමි හා ගැහැනු "අර්ධ ගණිකා" වෘත්තියෙහි නියෑළෙති. "අර්ධ ගණිකා" වෘත්තිය යෑයි අප අදහස්‌ කරන්නේ මුදලකට නො වී, විවිධ පුරුෂයන් ගැහැනුන් හා තරුණ තරුණියන් එකිනෙකා තාවකාලිකව යහළු වී ඉන්ටසිටි බසයේ පිටුපස, සිනමා ශාලාව තුළ, වෙනත් ස්‌ථානයක කරන විගඩම් කටයුතු වේ. වත්මන් තත්ත්වය මෙසේ නම් ජනගහන පාලනයක්‌ වූ විට ගණිකා වෘත්තියේ තව වැඩි විය හැක්‌කේ ඉතිරි 20-40% දක්‌වා වූ ප්‍රතිශතයයි. එහෙත් ජනගහන පාලනයක්‌ කළත් නො කළත් පන්සිල් රකින බෞද්ධයකු හෝ තම ආගම නිසි පරිදි රකින කිතුනුවකු හෝ ඉස්‌ලාමිකයකු වෙතින් ගණිකා වෘත්තියට උඩගෙඩි දීමක්‌ කිරීමට සිදු නො වේ. ගණිකා වෘත්තිය ගැන කතා කර පුවත්පත් පිටු නාස්‌ති කිරීමට පෙර හිටපු මහාචාර්ය නන්දසේන රත්නපාල වැනි උගතකු ගේ ඒ ගැන ලියෑවුණු පොතපත හදාරන ලෙස අවවාද කරමි.

එක්‌ පවුලකට එක්‌ ළමයකු උචිත යෑයි යන්න රංගට ප්‍රශ්නයකි මෙයට හැකි පමණ කෙටි පිළිතුරක්‌ සපයමි. 1930-40 දශකවලට පෙර ලංකාවේ පවුලක ළමයින් 7-8ක්‌ සිටියේ ඉන් ටික දෙනකු හෝ අවසන ඉතිරි වී වැඩිමහලු වූ විට තමන් බලාකියා ගනු ඇති බවට මාපියන් තුළ වූ විශ්වාසය මත ය. මන්ද එකල උපදින බොහෝ ළමයින්ට ජීවත් වීමේ වරම් නො වී ය. එහෙත් 1940 දශකයෙන් පමණ පසුව ප්‍රතිජීවක ඖෂධ සොයාගත් විට ලෝක ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක්‌ සිදු වූ අතර බොහෝ රටවලට එය ඔරොත්තු නො දෙන්නක්‌ විය. ශ්‍රී ලංකාව වැනි රටවල ඉන් වර්ධනය වූයේ දැහැමි පවුල්වලට වඩා දුගී නාගරික පසුගාමී සමාජගත පවුල් ය. ඉන් නාගරික ප්‍රශ්න, අපරාධ බොහෝ වර්ධනය විය. අද පවා වැඩි ළමයින් පිරිසක්‌ සිටින්නේ දිළිඳු විෂමචාරි පවුල් තුළ හා ජනගහන පාලනයකට අනුබල නො දෙන ඇතැම් ආගමික පසුබිම් සහිත පවුල් තුළ ය.

1984 රොබට්‌ ඡේ. ලැක්‌හොම් හා ඩබ්. පාකර් මෝල්ඩින් යන විද්වතුන් රටවල් 97ක සාඵල්‍යතා ප්‍රතිපත්ති ගැන කළ අධ්‍යයනයකට දැඩි ප්‍රතිපත්ති යටතේ වර්ග කළ රටවලින් පළමු තැන චීනයටත්, 9 වැනි තැන ලංකාවටත් ලැබිණි. එකල චීනයේ එක්‌ දරු සංකල්පය විය. සිංගප්පූරුව ද දැඩි සාඵල්‍යතා ප්‍රතිපත්ති අනුගමනය කළ අතර පවුලකට ළමයින් දෙදෙනකු විය යතු බව කියෑවිණි. තෙවැනි ළමයාට පාසලක්‌ ද නො ලැබිණි. රෝහල්ගත වූ විට හා තට්‌ටු නිවාස ලබා ගැනීමට ගිය විට ළමයින් 3ක්‌ සිටි පවුලකට අඩු සැලකිලි විය. 1970 දී පමණ ඉන්දියාව ද දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළේ ය. එහි දී ළමයින් 2ට වඩා සිටි පිරිමින් පොලීසිය මගින් අල්ලා වන්ධ්‍යකරණයට ලක්‌ කෙරිණි. මේ දැඩි ප්‍රතිපත්ති පසුව වෙනස්‌ විය. මෙවැනි පුළුල් විෂයයක්‌ ගැන කරුණු නො දැන අඳුරේ අතපතගාන රංග හෙට්‌ටිආරච්චිලා වැනි අය පුවත්පත් පිටු අප්‍රබ්‍රංසවලින් පුරවන අයුරු මා බොහෝ විට දැක තිබේ.

රංග ගේ සිව්වැනි ඡේදයෙන් දැක්‌වෙන පරිදි අපරාධවලට නීතියෙන් දඬුවම් ලැබීමෙන් ප්‍රතිඵල අත් වේ යෑයි කීම ද රංග ගේ අපරාධ විද්‍යාව හා නීතිය ගැන ඇති දැනුම පසක්‌ කිරීමකි. අපරාධ විද්‍යාව ගැන ද මහාචාර්ය රත්නපාල ශූරීන් ගේ පොතපත හා වෙනත් පොත් කියවීමට යෝජනා කරමි. අපරාධකාරයන් බිහි වීමට බොහෝ විට පවුල් පසුබිම, දුගී බව, ජානමය ලක්‌ෂණ බලපායි. බොහෝ විට මුඩුක්‌කු පරිසරවල එම ලක්‌ෂණ බහුල ය. පොලිස්‌ වාර්තා හැදෑරීමෙන් මේ ගැන වැඩිදුර කරුණු දැනගැනීමට රංගට ඉඩ තබමි. ඔහුට අනුව නීතියෙන් මෙරට අපරාධ අඩු වී නම් ලොව අපරාධ අඩු ම රට වන බෲනායි රාජ්‍යයේ මට්‌ටමට දැන් ලංකාව ද පත් විය යුතු ය. බෲනායි රටේ ධනවත්කම හා අඩු ජනගහනය අපරාධ අඩු වීමට එක්‌ හේතුවක්‌ බව පැවසේ.

රංග අවසාන ඡෙදයෙන් දක්‌වන පරිදි මෙවැනි අදහස්‌ ප්‍රායෝගික ද යන්න විමසන්නේ ඔහු මේවා ප්‍රායෝගිකව මෙරට කර ඇති බව නො දන්නා හෙයිනි. මන්ද 80 දශකයේ පවා මෙරට වන්ධ්‍යකරණයට පිරිමින් ලක්‌ කෙරුණු අතර අද පවා උපත් පාලන ඖෂධ කාන්තාවන් සඳහා ඔසුහල්හි ඇත.

Comments

Popular posts from this blog

පුද්ගල සංවර්ධනය යනු.

ක්‍රීඩාව සහ පුද්ගල සංවර්ධනය

පුද්ගල සංවර්ධනය ඇතිකරවන බුදු දහම